Thursday, July 18, 2019

තවත් එක් ජන වර්ගයක්

 (ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන්ගේ කෙටි කථාවක් ඇසුරිනි.)

ආර්. කේ . නාරායන්
මම මේ කථාව තුලදී කුලය හෝ ජනවර්ගය ගැන කිසිදු සදහනක් නොකරමි. මෑත කාලයේ දී පුවත් පත් වලින් සූර ලෙස භාවිතා කරන්නට යෙදුනු ලෙසටම එක් ජනවර්ගයක් සහ තවත් ජනවර්ගයක් ලෙස නම් කිරීම වඩා උචිතය. මම මේ කථාවේ වීරයාගේ නම හෙළි නොකරන්නේ ඒ ආදර්ශය අනුව යමිනි. ඔහු අයිති මොන ජනවර්ගයට හෝ කණ්ඩායමටදැයි ඔබ කැමති නම් විමසා බැලිය හැක. එහෙත් ඔහුගේ කමිසයට යටින් ඇද සිටින බැනියම සකස් කර ඇති රෙදි වර්ගය ඔබට කිව නොහැකි ලෙසටම ඔහු අයිති ජන වර්ගය ද ඔබට අනුමාන කිරීමට නොහැකි වනු ඇත. එමෙන්ම එය අපේ අරමුණට කොහෙත්ම අදාල නොවේ.

    ඔහු රැකියාව කලේ රක්ෂන ව්‍යාපාරයකට සම්බන්ධ කර්යාලයකය. මාස අවසානයේ රුපියල් සියයක වේතනය බහාලූ ලියුම් කවරය අතට ලැබෙන තුරු ඔහු සෑම දිනකම දහවල් එකොලහේ සිට සවස පහ වන තුරු කන්තෝරුවේ මේසයක් අසල වාඩිවී ලිපි ද්‍රව්‍ය ගණන් හිලව් පරීක්ෂා කිරීමේ යෙදුනේය. ඔහු දැන් මැදි වයසේ පසු වුනද ඔහුගේ තරුණ කාලයේ සිට මැදි වයස දක්වාම ගෙවුනේ කන්තෝරුවේ එකම ආසනයක් මතය. පටු මාවතේ තිබුනු කුඩා නිවසක ඔහු වාසය කලේය. එය කාමර දෙකකින් හා සාලයකින් සමන්විතය. තමන් සමග නැවතීමට අමුත්තෙකු පැමිනි විට ඔහු තරමක අපහසුතාවයට පත් වුවත් බිරිද සහ දරු සිව් දෙනා සමඟ ඔහුට මේ නිවසේ ඉඩ පහසුකම් සෑහුනි. වෙළඳ සැල ඒ අසලම විය. දරුවන් යන පාසල තිබුනේද නොදුරිනි.එමෙන්ම වටාපිටාවේ සිටි සැවොම ඔහුගේ බිරිඳගේ හිතවතුන් විය. 1947 වසරේ ඔක්තොම්බර් මාසය වන තෙක්ම ඔවුන්ගේ ජීවිත සතුටින් සහ සාමයෙන් ගෙවී ගියේය.

    එහෙත් 1947 ඔක්තොම්බර් මාසය වන විට වටපිටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබූ අතර මිනිස්සු ම්ලේච්ඡයන් බවට පත් වෙමින් සිටියහ. සැතපුම් දහස් ගණනක් එපිට එක් මිනිස්සු පිරිසක් විසින් තවත් මිනිසුන් පිරිසක් ඝාතනය කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලය වූයේ මේ ප්‍රදේශයේ ද පලිගැනීම් ලෙස අසල්වැසියන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා ඇරඹීමයි. දුර ඈතක සිදුවන යහපත් යමක් ආරංචියක් ලෙස පැතිරෙන්නේ කලාතුරකිනි. එහෙත් නරක ආරංචි වලට තටු ඇත. එය මිනිස් සබඳතා සම්පූර්ණයෙන්ම අවුල්ව ගිය කාල පරිච්ඡෙදයකි. දිනපතා පුවත් පත් බලන අසල්වැසියන්ගේ කෝපය වැඩීගෙන එන අයුරු අපේ මිතුරාට පෙනුනි. ඔවුහු උස් හඬින් කතා බහ කලහ. “අපි මෙහෙ ඉන්න එවුන් නැති කරලා දාන්න ඕනි“ උන් අඩු තරමේ ළමයි, ගැහැණු වත් ඉතුරු කරන්නෙ නෑ. ඔවුන් කෑ ගසනු ඔහුට ඇසුනි. අපි උන්ට හොඳ පාඩමක් උගන්වමු. අපි මෙහෙ ඉන්න එවුන්ට ඒ දේම කරනවා ඒක තමයි උන්ට තේරෙන එකම භාෂාව.

    ඒත් මේ බලන්න, ඇහුම්කන් දෙන්න ඔහු කියන්නට උත්සාහ කලේය. ඔහුගේ සිතේ දන්නා අඳුනන කිහිප දෙනෙකුගේ රූප සටහන් ඇඳිනි. කන්තෝරුවේ ඔහුට දකුණු පසින් අසුන හිමි සඟයා, පියන් මහතා, බුලත් කඩේ හිමිකරුවා සහ බැංකුවේ වැඩ කරන ඔහුගේ මිතුරා මේ සියල්ලෝම අයත් වූයේ වෙනත් ජන වර්ගයකටය. ඔහු මේ දක්වා ම කිසිදු විටෙක ඒ ගැන කරදර වූයේ නැත. ඔවුන් තමන් සමඟ කුළුපඟව සිනහසෙන උදව් උපකාර කරන මිතුරන් පමණක්ම විය. නමුත් දැන් ඔහුට හදිසියේම ඔවුන් වෙනත් අයුරකින් පෙනෙන්නට පටන් ගෙන ඇත. ඔවුන් වෙනත් ජන වර්ගයකි. තමන්ගේ මිනිසුන් කලහකාරී ලෙස කථාබහේ යෙදෙන විට ඔහු තැපැල් කන්තෝරුවේ රාජකාරි කරන තම මිතුරා වීදිය මැදදී කපා කොටා දමන අයුරු සිතින් මවා ගත්තේය. නැතහොත් නිවසට ගොඩ වැදුනු විට ඔහුට දෙහි බීම වීදුරුවක් රැගෙන එන, උගත් නැටුම්, ගීත ඔහු ඉදිරියේ රඟ දක්වා පෙන්වන ඔහුගේ මිතුරාගේ සිඟිති දියණිය සබන් පෙට්ටියක පිරවූ පැන්සල් සහ මකන රැගෙන පාසල් යන විට තම වර්ගයට අයිති දාමරිකයන් පිරිසක් විසින් හඹා යනු ලබන ආකාරය සිතින් දුටුවේය. සිතේ මැවෙන මේ දර්ශන ඔහුගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා තිබුණි. දෙවියනේ එපා ඔහු නිතරම තමන්ටම සිත යටින් මුමුණා ගත්තේය. ඇහුනද ඔය වගේ දේවල් මෙහෙ සිද්ධ වෙන්නෙ නෑ. ඔහු තම සඟයන්ට එසේ කියමින් තත්වය සමහන් කරන්නට උත්සාහ ගත්තේය. නමුත් සත්‍ය එය නොවන බව ඔහු දැන සිටියේය. තම වර්ගයේ මිනිස්සු පොලු සහ පිහි එකතු කරමින් සිටින බව ඔහු දනී.ඔහු කියූ දෙයට මුළුමනින්ම පටහැණි ලෙස ඔවුන් සියලුම ආකාරයෙන් සන්නද්ධ වෙමින් සිටියහ.“අපි මුලින් කිසිම දෙයක් පටන් ගන්නෙ නෑ. ඒත් උන් වැඩිපු දඟලන්න ආවොත් උන් විනාශ වේවි. අපි උන්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා. ඔහුගේ මාමාගේ නිවසට නිතර රැස්වූවෝ කීහ.

    දිනෙන් දිනම අසහනය වැඩි වෙමින් පැවතුනි. ජීවිතයේ තිබූ අවංක හා විවෘත බව හදිසියේම පලා යමින් පැවතුනි. මිනිස්සු වඩාත් පරිස්සමෙන් සහ රහස්‍ය ලෙස කටයුතු කරන බව පෙනෙන්නට තිබුනි. සෑම මිනිසෙකුම ඔහුට පෙනුනේ අනාගත ඝාතකයෙක් ලෙසිනි. මිනිස්සු ගොදුරු දෙස බලන ම්ලේච්ඡයන් සේ එකිනෙකා දෙස බැලූහ. වීදියේ ගමන් කරන විට කෙනෙක් තවකෙකු දෙස සැක මුසු විපරමින් බැලීම ඔහුට පෙනුනේ ලජ්ජාකටයුතු දෙයක් ලෙසිනි. අවට වාතය පවා සැකය සහ බියෙන් වෙලී තිබුණි. කටකථා සහ කේලාම් පතුරවාවිය යන බිය නිසා ඔහු කිසිවෙකු හමු වීමෙන් වැලකුනේය. නිතරම විවිධ තොරතුරු ගලා එන්නට විය. “දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා? බයිසිකල් කාරයෙකුට ඊයෙ හැන්දෑවෙ පාරෙදි පිහියෙන් ඇනලා. පොලිසිය වෙන හැමදේම හංගනවා., ගෑනුකෙනෙකුට ඊයෙ කරදර කරලා, දන්නවද උන් බාලිකා ඉස්කෝලෙට පැනලා ගෑනු ළමයි හතර දෙනෙක් අතුරුදහන්ලු . පොලිසිය හිටියට කිසි වැඩක් නෑ. අපි අපිම කරන දෙයක් කරන්න ඕනි.මෙවැනි කථා දස අතින් ඇසෙන විට ඔහුගේ හද ගැස්ම වැඩි විය. අසනීප ගතියක් දැනුනි. කන කෑමේ රසය පවා දිවට නොදැනෙන තරම් විය. ඔහු තම බිරිඳ සහ දරුවන් දෙස බලන හැම විටකම බියමුසු හැඟීමකින් වෙලී ගියේය. මොන විදිහේ අනතුරු වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවෙයිද.

    රාත්‍රියට ඔහුට නින්ද ගියේ ඉතා අඩුවෙනි. ඔහු කන්යොමා වැතිර සිටියේ සැක කටයුතු ශබ්දයක් බලාපොරොත්තුවෙනි. ඔවුන් රහසින් ඇවිත් දොර කැඩුවොත්. ඔහුට තම බිරිඳගේ සහ පුංචි දියණියගේ බියමුසු විලාපය ඇසෙන්නාක් මෙන් විය. කලහකාරීන් පිරිසකගේ හඩක් බලාපොරොත්තුවෙන් ඔහු මුළු රාත්‍රියම නින්දත් නොනින්දත් අතර ගත කලේය.

    ඈතින් ඇසෙන බල්ලෙකුගේ බිරුමක් කලහකාරීන්ගේ හඩක් ලෙස වරදවා වටහාගත් ඔහු කිහිප විටක්ම ජනේලය හැර පිටත බැලුවේ ඈතින් අහසට නැගෙන ගිනිදළු දැකීමේ අපේක්ෂාවෙනි. “මොකක්ද ඒ ? අවදිවූ ඔහුගේ බිරිඳ ඇසුවාය. “මොකුත් නෑ. ඔයා නිදා ගන්න ඔහු ආපසු ඇදට යමින් කීවේය. කිසිවක් සිදු නොවීම පිළිබඳ ඔහුට සැනසීමක් දැනුනි. හදිසියකදී තම පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්ධන කාමරයේ ඇති පොරව ගෙනැවිත් අතට අසුවන තැනකින් තබාගත යුතු බවට ඔහු සිතින් සැලසුම් කලේය. සමහර විටක නිවස අසලින් යන ලොරියක කරත්තයක හඬ වුවද ඔහු නින්දෙන් අවදි කර ජනේලය අසලට කැඳවීමට සමත් විය. ඔහු ජනේලය අසල අඳුරේ සිටගෙන බලා සිටියේ ඒ කලබල ඇති ප්‍රෙද්ශයකට යන පොලිස් ලොරියක් යැයි අනුමාන කරමිනි. සංකාවෙන් සහ කැළඹිලි සහිත බවින් හැම රාත්‍රියක්ම ගෙවා දැමූ ඔහුට දහවල් කාලය උදා වන විට තරමක සැනසීමක් ලැබුනේය.

    එම මාසයේ 29 වෙනි බදාදා ගැන හැමෝම කථා කලහ. එදිනට යම් තීරණාත්මක සිදුවීමක් විය හැකි බවට හැමතැනම කට කථා පැතිරී තිබුනි. ඔවුන් ඒ දිනය තෝරා ගත්තේ ඇයිදැයි පැහැදිලි නැති නමුත් හැමෝම ඒ දිනය ගැන කතා බහ කලේය. ඔහුගේ කාර්යාලයේ උදවිය පවා කථා කලේ 29 වෙනිදා ගැන පමණි.ඔහුගේ මාමාගේ නිවසේ සිදුවන ක්‍රියාකාරකම් ද ඉතා තීව්‍ර බවට පත්වී තිබුණි. 29 වෙනිදායින් මේ කරදර ඉවර වෙන එක ගැන සතුටු වෙන්න ඕනි. මාමා ඔහුට පැවසුවේය. “එදාට මේක සම්පූර්ණයෙන්ම ඉවරයක් වෙයි. අපි මේ නගරය සුද්ද කරගන්න ඕනි. කොහොම උනත් නගරෙ ජනගහනයෙන් ලක්ෂ එකහමාරක් විතරනෙ උන් ඉන්නෙ. ඔහු සංඛාලේකන ඉදිරිපත් කරන්නට විය.

    අවසන් හෝරාව ලංවෙමින් පැවතුනි. මේ සියළු අනුමාන කිරීම් වලින් අසරණව සිටින අතර ඔහු කල්පනා කලේ මෙය ආරම්භ විය හැක්කේ කෙසේද කියාය. කලින් නියමකොට ගත් වේලාවක දී එක් ජනවර්ගයක සාමාජිකයෙක් අනෙකෙකුට කම්මුල් පහරක් දීමෙන්ද? හිතන්න බැයිද එදාට මොකුත් වෙන එකක් නෑ කියලා? ඔහු ප්‍රශ්න කලේය. “ කොහොමද මොකුත් නොවෙන්නෙ? අපි දන්නවා උන් කරන්නෙ මොනවද කියලා.උන් හැම රෑකම රහස් රැස්වීම් තියනවා. ඇයි උන් මහරෑට එහෙම එකතු වෙන්නෙ? ඒගොල්ලන්ට හැමෝම එකතු කර ගන්න පුළුවන් වෙන වෙලාවක් නැති නිසා වෙන්න ඇති. ඔහු පිළිතුරු දුන්නේය.“ඒත් අපේ මිනිස්සුන්ට  ඒ වෙලාවට එකතු වෙන්න ඕනි කමක් නෑ. අපි කරදර ඉල්ලලා ගන්නෙ නෑ. ඒත් මොනවා හරි සිද්ධ වුනොත් අපි උන්ව එකෙක් නෑර ඉවර කරනවා. වැඩිම උනොත් පැය කීපයක් යයි. ඒක බොත්තමක් ඔබනවා වගෙ ලේසියි. ඒත් අපි ප්‍රශ්නයක් පටන් නොගෙන ඉන්න උත්සාහ කරනවා

    29 වෙනිදා බොහොමයක් කඩ සාප්පු වසා දමනු ලැබීය. සියල්ලෝම දරුවන් පාසල් යැවීමෙන් වැලකුණහ. “අද අපිට ඉස්කෝලෙ නෑ. තාත්තා දන්නවාද ඇයි කියලා? අද ලොකු රණ්ඩුවක් වෙන්න යන්නේ ළමුන් ඒ ගැන සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් කථා කිරීම ඔහු නොරිස්සුවේය.
    ඔහු එදින කන්තෝරුවේ වැඩට යාම ගැන බිරිඳගේ කැමැත්තක් නොතිබිණි. අද වටේ පිටේ කවුරුවත් වැඩට යන්නෙ නෑ. ඔයා විතරක් යන්නෙ මොකටද? ඊට පිළිතුරු ලෙස ඔහු සිනාසුනේය. බයයි නම් ගේ ඇතුලට වෙලාම ඉන්න. ඔයාගෙ මාමා ළඟ ඉන්නකම් අපිට කිසි දෙයකට බයවෙන්න දෙයක් නෑනෙ. පිටත් වීමට සූදානම් වී ඔහු බිරිඳට පැවසුවේ එලෙසිනි.

    කාර්යාලයේ ප්‍රධානියා සේවයට පැමිණ සිටි නමුත් ඔහුගේ සගයන් වැඩි දෙනෙක් පැමිණ නොතිබිනි. ඔවුහු සියළු දෙනාම පෞද්ගලික නිවාඩු ඉල්ලීම් ලිඛිතව ඉදිරිපත් කර තිබූ අතර පැමිණි අතලොස්සද එදා දවසේ සිදුවිය හැකි භයානක දේවල් ගැන අනුමාන කරමින් කාලය නාස්ති කලා මිස කාර්යාලයේ වැඩක් නොකෙරුනු තරම්ය. අවට සිදුවන කථා බස් අසා අපේ මිතුරාගේ මනස මේ වන විට අවුල් වී තිබුණි.සගයන්ගේ කතා බහ නොඇසෙනු පිණිස ඔහු රාජකාරි වැඩ වලට හිත යොමන්නට උත්සාහ කලේය. ඔහු වෙහෙස දැනෙන තුරු එක දිගට වැඩ කලේය. අවුරුදු හතරකට පෙර ගිණුම් වාර්තා පවා ලාච්චු වලින් එලියට ගත් ඔහු ඒවා පරීක්ෂා කරමින් කාලය ගත කලේ අවට සිදුවන කතාබස් වලින් සිතට දැනෙන චකිතය සහ බිය නොදැනීම පිණිසය. එහි ප්‍රතිතඵලය වූයේ ඔහු වැඩ අවසන්කර අසුනෙන් නැගිටින විට සවස 7.30 ද පසුවී තිබීමයි. හදිසියේම ඔහුගේ සිත ගෙදර ගැන සංකාවෙන් වෙලී ගියේය.බිරිඳ මං එනතුරු බලාගෙන ඇති.ළමයි කොච්චර බයවෙලා ඇත්ද? කන්තෝරුව තුල ඇහුම්කන් දුන් දේවල් ඔහුගේ සිතට බෙහෙවින් බලපා තිබුණි. ඔහුගේ සිත හැකි ඉක්මනින් ගෙදරට ලගාවීමේ ආශාවකින් වෙලී ගියේය. ගෙදරට යන වෙනදා හුරු පුරුදු මාවත ඉතා දිග වැඩියැයි ඔහුට දැනුනි. ඒ මාවතෙන් ගෙදරට ලගා වීමට මහා වේලාවක් ගතවනු ඇතැයි නොසන්සුන් මනස ඔහුට කියන්නට විය. කාර්යාලය ඉදිරිපිට ඇති පටු පාර දිගේ කෙටි මගින් නිවසට යාම හොඳම ක්‍රමය බව ඔහු තීරණය කලේය. ඔහු මේ මඟ භාවිතා කලේ ඉතා හදිසි අවස්ථා වලදී පමණි. පැල්පත් නිවාස ඇති ප්‍රදේශයක් හරහා වැටුනු මෙම පටු පාර උතුරන කුණු කානු , සහ දඩාවතේ යන බල්ලන් නිසා ඔහු සාමාන්‍යයෙන් එහා මෙහා නොයන පාරකි.

    අත් ඔරලෝසුවට එබී බැලූ ඔහු කඩිනමින් අඳුරු මාවත දිගේ පිය නගන්නට විය. බයිසිකල් කරුවෙක් ඉදිරියෙන් පැමිණෙන විට ඔහු යාර කිහිපයක් පසු කලා පමණකි.එකිනෙකාගේ ගමන් දිශාව තීරණය කරගත නොහැකි වූ පාපැදිකරුවා සහ මගියා එකවර දකුණටත් ඉන්පසු වමටත් ගමන් කර එකිනෙකාගේ ඇඟෙහි ගැටුනහ. බයිසිකල් රෝදය තම දෙකකුල් අතරින් යාමෙන් අපේ මිතුරාද, බයිසිකලයේ සමබරතාවය ගිලිහීමෙන් පාපැදිකරුවා ද ඉවතට විසිවිය.

    කෝපයට පත් අපේ මිතුරා බයිසිකල්කරුවා වෙත කෑගසන්නට විය. උඹට පරිස්සමෙන් පදින්න බැරිද? දනිපනිගා නැගී සිටි අනෙකා ද කෝපයෙන් පිළිතුරු දුන්නේය. උඹ අන්ධයෙක් ද? බයිසිකලයක් එනව පේන්නැද්ද? කෝ උඹේ බයිසිකලේ ලයිට්?

උඹ කවුද මගෙන් ඒ ගැන අහන්න? කෝපයට පත් අනෙකා අපේ මිතුරාගේ මූණ හරහා අත දිග හැර පහරක් ගැසීය. ඔහු ඊට පිළිතුරු ලෙස පාපැදි කරුවාගේ බඩට පා පහරක් එල්ල කලේය. බහින් බස් වීම සහ ගුටි බැට හුවමාරුව ඇසුනු අසල්වැසි පිරිස් එතැනට රැස්වන්නට විය. මූ අපි ඉන්න පැත්තට ඇවිල්ලා බය නැතුව අපේ එවුන්ට අත පය උස්සන හැටි කිසිවෙක් කෑ ගැසීය. අපි මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනි. උඹ හිතන්නෙ අපි බයේ ඉන්නවා කියලද? කෑකෝ ගැසීම් ටිකෙන් ටික උත්සන්න විය. කිසිවෙක් අපේ මිතුරාට පොල්ලකින් පහරක් එල්ල කලේය. තවත් කෙනෙක් අතින් පහර දුන්හ. පිහියක තලය තම දෑස් ඉදිරියේ දිලසෙනු අපේ මිතුරාට පෙනුනි. 

තමන්ගේ අවසානය පැමිණ ඇති බව ඔහුට දැනෙන්නට විය. හදිසියේම මේ සිදුවීමේ අනිටු විපාක පිළිබඳ ඔහුට හැඟෙන්නට විය. සංසිදුනු කෝපයෙන් යුතුව මේ මොහොතේ සිදුවෙමින් පවතින දෙය වටහා ගන්නට ඔහු උත්සාහ කලේය. මේ මෝඩ ගැටුම මේ මොහොතේම නතර කල යුතු බව ඔවුන්ට හඩ නඟා කියන්නට ඔහුට අවශ්‍ය විය. අපේ මිතුරා මුව විවර කර කථා කිරීමට උත්සාහ කලද හඩක් පිට නොවුනි. මුව හෝ අතපය හෝ සෙලවිය නොහැකි ලෙස ශරීරය ගල් වී ඇති බවක් ඔහුට දැනිනි. තෙරපීම දරාගත නොහැකි තරම් විය. පිරිසේ සිටි සෑම කෙනෙක්ම එකිනෙකා පරයමින් ඔහුට පහර එල්ල කරන්නට විය. ඔහුගේ ඇස් නිලංකාර විය ශරීරයේ බර අඩුවී සැහැල්ලු බවක් දැනිනි. කිසිදු වදනක් මුවින් පිට නොවුනද ඔහු කොඳුරන්නට විය. උනේ මොකක්ද කියල මම කවදාවත් අපේ මාමට කියන්නෙ නෑ. මේ විපත පටන් ගන්න මම උදව්වක් වෙන්නෙ නෑ. අපි මේ නගරය රැක ගන්න ඕනි. ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් වචනයක් වත් මං කියන්නෙ නෑ. මේකෙන් ඕගොල්ලො අපි හැමෝම විනාශ වේවි. අන්තිමට මොකක්ද ඇති පලේ. ඕගොල්ලන්ගෙ ජාතිය, අපේ ජාතිය කියලා දෙයක් නෑ අපි ඔක්කොම මේ රටේ මිනිස්සු. මම, මගේ බිරිඳ, මගේ දරුවෝ ඔයා , ඔයාගේ බිරිඳ, ඔයාගේ දරුවෝ අපි එකිනෙකා මරා නොගෙන ජීවත් වෙමු. මම මාමට කියනවා ඔෆිස් එකේ පඩිපෙලෙන් වැටිලා තුවාල වුනා කියලා. ඒගොල්ලො දැන ගන්න එකක් නෑ . ඒ ගොල්ලො කවදාවත් දැන ගන්න එකක් නෑ. ඒක හින්දා මුකුත් පටන් ගන්න එකක් නෑ.

    එහෙත් සිදුනොවිය යුතු පරිදි සියල්ල සිදු විය. ඒ අඳුරු, පටු මාවතේ සිදු වූ සිදුවීම පිළිබඳ විස්තර පැය කිහිපයක් තුල මුළු නගරය පුරාම පැතිර ගියේය. අපේ මිතුරාගේ මාමා සහ තවත් මාමලා වැඩ පටන් ගත්හ. එහි ප්‍රතිඵල කෙබඳු වී දැයි මෙහි අමුතුවෙන් සටහන් කල යුතු නැත. නැවත කතා කිරීමට ඉඩක් ලැබුනා නම් අපේ මිතුරා බොරුවක් කියා හෝ නගරය බේරා ගන්නට කටයුතු කරනු ඇත. එහෙත් අවාසනාවකට ඒ බොරුවට ඔහුගේ මුවින් පිට වීමට ඉඩ නොලැබිනි. පසු දින සැන්දෑ යාමයේ අර අඳුරු මාවතේ කුණු කානුවක තිබී පොලිසිය විසින් ඔහුගේ සිරුර සොයා ගනු ලැබුනි. කමිස සාක්කුවේ තිබූ භූමිතෙල් සලාක කූපනයක් උපකාරයෙන් ඒ ඔහුම බව තහවුරු කර ගන්නා ලදී.

(Another community by R.K.Narayan)