Wednesday, January 22, 2020

ලෝකයේ ගැඹුරුතම රන් ආකරයට සවාරියක්

රත්රන් වානිජ වටිනාකම අතින් ඉහළම ලෝහ වලින් එකකි.

තම අතේ ස්පර්ෂයෙන් ඕනෑම දෙයක් රන් බවට හැරවිය හැකි මයිඩාස් රජතුමා පිළිබඳ ජනප්‍රවාදය ඔබ ඇතැම් විට අසා තිබිය  හැකිය. අද වන විට සිහිවටන ඵලක වල සිට සුඛෝපබෝගී පුද්ගලික ගුවන් යානා වල ඇති ජල කරාම දක්වා බොහෝ දේවල්  කාන්තිමත් දිදුලන රන් ආලේප වලින් ආවරණය වන්නේ මයිඩාස් රජුගේ පහස ලැබූ කලක මෙනි. ඇත්තෙන්ම රන් පිළිබඳ තම වාසනාව උරගා බැලීමෙන් මෑත අවුරුදු වලදී තව තවත් ඉසුරුමත්වූ සුපිරි ධනවතුන් ලෙහෙසියෙන් මේ සෝභාමත් ලෝහය ගැන සෑහීමට පත් වන බවක් පෙනෙන්නට නැත.

ම්පොනෙන්ග් ආකර භූමිය


මම අපායේ දොරටුව වෙත රිය ධාවනය කරන විට කහ පැහැති ආලෝකයක් තැනිතලාව මත පතිත වෙමින් පැවතුනි. ශීත සෘතුවේ මැද කාලය බැවින් සුළඟ වියළි සහ කටුක බවින් යුක්ත විය. ඈතින් පෙනෙන හැඩ තල අරුණාලෝකයට එරෙහිව නිල් පැහැයක් ඉසිලීය ජොහැන්නස්බර්ග් සිට සැතපුම් හතලිහක් පසු කල මම ම්පොනෙන්ග් බලා යාමට අධිවේගී මාර්ගයෙන් රිය හැරවීමි. ම්පොනෙන්ග් යනු මිනිසුන් විසින් පොළව මත හාරනු ලැබූ ගැඹුරුතම ආකරයයි. හුස්ම හිර කරන රළු වාතාශ්‍රයෙන් යුක්ත, පෝරණුවක් මෙන් උණුසුම් මෙම පතලේ සැතපුම් ගණන් පොළව අභ්‍යන්තරයේ දහස් ගණනක් මිනිස්සු වටිනා ලෝහයක් සොයමින් වෙහෙසකර අරගලයක නිරතව සිටී. එම ලෝහය වසර හය දහසක පමණ කාලයක සිට මනුෂ්‍ය වර්ගයා මෝහනයට ලක්කර ඔවුන්ට අති මහත් කරදර ඇති කල රත්තරන් ලෝහය මිස අන් කිසිවක් නොවේ.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පිහිටා ඇති ම්පොනෙන් ලෝකයේ ගැඹුරුතම පතලයි.


මෑන්හැටන් නගරය හරි මැදින් දෙකට කපා එහි මුදුන් කොටස යට කොටස මත කෙලින් තැබුවේයැයි සිතින් මවාගන්න. ම්පොනෙන්ග් පතලේ උමං ජාලය එහි 59 වෙනි වීදිය සහ 110 වෙනි වීදිය අතර ඇති මාවත් ජාලයට සමාන කල හැකිය. එහි උමං සහ සිරස් පතල් දැවැන්ත කුහුඹු ජනපදයක් මෙන් දිස්වනු ඇත. එහි මන්දාලෝකයෙන් යුත් වීදි එක මත එක කුළුනක් මෙන් සැතපුම් තුනක් පමණ ඉහලට ඔබ ඉදිරියේ පිහිටනු ඇත.ම්පොනෙන්ග් ආකරයේ පතුල සහ පොළව මතුපිට අතර උස පිරවීමට නම් එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි දහයක් එක මත එක තැබීමට සිදුවනු ඇත. මිහිතලය අභ්‍යන්තරයට විහිදුනු මෙම දැවැන්ත ආකරය මිලියන හතලිහක ජනගහණයක් වෙසෙන නගරයක් වැය කරන විදුලියට සමාන විදුලි බලයක් පරිභෝජනය කරයි. එහි අභ්‍යන්තරයට විහිදුනු නල පද්ධති ඔස්සේ ගංගාවකට සමාන ජලය ප්‍රමාණයක් නිරතුරු සංසරණය වේ. වංකගිරියක් බඳු උමං පද්ධතිය පුරා ඒවාට වාතාශ්‍රය ලබා දීමට ක්‍රියාත්මක කර ඇති වාතන පද්ධතියේ ඝෝෂාවෙන් පිරී පවතී. ම්පොනෙන්ග් පතලේ භූගර්භ පාශාන ස්ථර ඔස්සේ සැතපුම් දෙසිය තිස් හයක් පුරා පැතිර ඇති දෝනා හේතුවෙන් එය නිව්යෝර්ක් නගරයේ උමං දුම්රිය පද්ධතියටත් වඩා සැතපුම් තිහක් දිගින් වැඩිය. සෑම උදෑසනකම හාරදහසක් දෙනා මෙම පතුල් වලවල් ජාල , ලෝපස් සහ භාණ්ඩ ප්‍රවාහන කරන උමං මාර්ග සහ රුහක (රුහක යනු පතල් කරුවන් රන් ලෝපස් ලබා ගැනීම සඳහා පඩිපෙලක හැඩයට කරන කැණීමකි. මෙම පටු අවකාශ තුල වකුටු වී සිටිමින් අධික තාපය දරා ගනිමින්  විදුම් යන්ත්‍ර භාවිතයෙන්  ලෝපස් ලබා ගැනීම සිදුකෙරේ) සහිත අධෝභෞම අවකාශය තුලට අතුරුදහන් වෙයි.

ආකරයේ පතුල සහ මතුපිට අතර එම්පයර් ස්ටේට් වැනි ගොඩනැගිලි දහයක් එක මත එක තැබිය හැක
 ඔවුන්ගේ ඉලක්කය වන්නේ කැණීම් කර අඟල් තිහක් දිගැති ලෝපස් තීරු ලබා ගැනීමයි. ආකරයේ විශාලත්වය සලකන විට මේ ලෝපස් තීරු කෙස්ගස් වලට සමාන කල හැකිය. 2012 වසරේ ජූලි මහේ උදෑසනක මම ජොහැන්නස්බර්ග්හි ඇන්ග්ලෝ ගෝල්ඩ් අශාන්ති සමාගමට අයත් ම්පොනෙන්ග් ආකරයේ පතුලට බසින විට රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1581 ක සිමාවේ පැවතුනි. මේ ලෝපස් වලින් වසරකට ඩොලර් මිලියන 948ක් වටිනා රත්තරන් නිපදවනු ලැබේ.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අගනුවර සහ ම්පොනෙන්ග් ආකර පිහිටි ප්‍රදේශය


මම පහලට යන කුඩා කණ්ඩායමකට එකතු වුනෙමි. අපි සෙවිලි කරන ලද පිළිගැනීමේ ශාලාවක දී හමුවුනු අතර මේසයක් මත උදෑසන ආහාරය සඳහා පේස්ට්‍රි, යෝගට් සහ දුම් දමන සොසේජස් බන්දේසියක් විය. ආකරයේ පොළව යට කලමණාකරන කටයුතු වලට සම්බන්ධ හැඩි දැඩි පුද්ගලයන්  පිරිසක් එකිනෙකාට ගොරවමින් සිටි අතර ඔවුන් වරින් වර සිංහයන්ට කන්නට දමන්නට නියමිත ක්‍රිස්තියානුවන් දෙස බලන වැනි බැල්මකින් අප දෙස බැලූහ. අනතුරුව අපිට අකුලන පුටුවල ඉඳ ගැනීමට සැලැස්වූ ඔවුහු අප ඇතුල් වීමට නියමිත අනතුරුදායක ලෝකය පිළබඳ තොරතුරු විස්තර කරන්නට විය.

ගැඹුරට කරන කැනීම් මගින් පාෂාන ස්ථරය අස්ථාවර වන බවත් එනිසා මසකට හයසීය වතාවක් පමණ ම්පොනෙන්ග් ආකරයේ භූ කම්පන සිදුවන බව ඔවුහු අප සමඟ පැවසූහ. ඇතැම් විට මේ කම්පන හේතුවෙන් පාෂාන ස්ථරය බිඳවැටී කැණීම් කරන කුහරයට කඩා වැටීමෙන් මිනිසුන් යටවී මාරක අනතුරු සිදුවේ. සමහර කම්පන වල දැඩි ප්‍රභලතාවය හේතුවෙන් පිටවන කම්පන තරංග නීරීක්ෂණය කරන විදෙස් රටවල් දකුණු අප්‍රිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බලන්නේ යැයි සැක කල අවස්ථාද ඇත.

ඕගොල්ලො පහල ඉන්නකොට ටිකක් හෙලවෙනවා දැනෙයි. ආකරයේ ප්‍රධාන කලමණාකරු වන රැන්ඩල් රඩෙමාන් තම ලන්දේසි උරුවට බර ඉංගිරිසියෙන් පැහැදිලි කලේය. ඔහු ස්කෝප්ප වැනි දෑත් සහ ලොකු උඩු රැවුලක් ඇති ස්ද්දන්ත මිනිසෙකි. රඩෙමාන් ගෙන් පසු සුරක්ෂිතතාව පිළිබඳ නිලධාරියෙකු විසින් ජීවිතාරක්ෂක උපකරනයක් පිළිබඳ අපට විස්තර කරන්නට විය. ජීවිතාරක්ෂාව යනු මා ප්‍රියකරණ මාතෘකාවක් නොවුනද මේ අවස්ථාවේ එම උපකරණය භාවිතා කිරීම අපට අනිවාර්ය විය. මෙම උපකරණය පෙනුමින් ඇලුමිනියම් පෙට්ටියක් බඳු වූ අතර හදිසි අවස්ථාවකදී මෙම කුඩා පෙට්ටිය විවෘත කර එහි ඇති රබර් බෑගය කටින් පිඹ පුම්බා ගත යුතුය. අනතුරුව එම බෑගය වායු මුහුණු වැස්මකට සම්බන්ධ කිරීමෙන් භවිතා කල හැකිය. විෂ සහිත වායූන් පෙරා හැරීම සඳහා භාවිතා කරන මෙම උපකරණයට අහිතකර අවස්ථාවකදී පුද්ගලයෙක් මිනිත්තු තිහක් පමණ ජීවත් කර තබා ගත හැක.

සුදු පැහැති කම්කරු ඇඳුම් ඇඟලා ගත් අපි ලෝහ පතුල් සහිත බූට් සපත්තු පැළඳ බරැති  බඳපටි වල ගාංචු තද කර ගත්තෙමු. ඔවුන් අපට පතල් කරුවන් භාවිතා කරන හිස්වැසුම් සහ විදුලි පන්දම් ලබා දුන්හ. මම විදුලි පන්දමේ බැටරිය බඳපටියට සවිකර ගෙන ඔක්ෂිබොක් නමින් හැඳින්වූ ජීවිතාරක්ෂක උපකරනය ද රැගෙන බර අඩි තබමින් මැදිරියට ගොඩ වුනෙමි.

කාර් සෝපානය ලෙස හැදින්වෙන මෙම එක් මැදිරියක් තට්ටු තුනකින් සමන්විත අතර මිනිසුන් 120කට ගමන් කිරීමට පුළුවන. පළමු තට්ටුවට එහි උපරිම ධාරිතාව වන පතල්කරුවන් 40ක් ගොඩවූ පසු සෝපානය අඩි 10ක් පහලට චලනය වී නතර වන අතර එවිට දෙවන තට්ටුවට තවත් පතල්කරුවන් හතිලිහක් ඇතුළු වේ.



පාශාන තොග වෙනුවට මිනිසුන් ගෙනියන මැදිරි ඉහළට එසවීමට ඇති පද්ධතිය මිනිස් දඹරය ලෙස හැඳින්වේ. ඇතැම් විට මිනිස්සු මාරයා වෙත ගෙන යාමට ද ඒවා සමත්ය.1995 මැයි එකොලොස් වන දින ම්පොනෙන්ග් වලට සැතපුම් අනූවක් දකුණින් පිහිටි වාල් රීෆ්  රන් ආකරයේ  භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජිමක් පහලට ඇද වැටුනි.  ඊට අමුණා තිබූ මැදිරිද සමඟ අඩි හත්දහසක් පහලට ඇද වැටුනු මෙම එන්ජිම පොළව මතුපිටට පැමිණෙමින් තිබූ තට්ටු දෙකක මැදිරියක් මතට පතිත වූයේ තම සේවා මුරය අවසන් වී එම සෝපානයෙන් ඉහළට එමින් සිටි කම්කරුවන් එකසිය පස් දෙනෙක්ට මරු කැඳවමිනි. 2008 වසරේ මැයි පළමුවෙනි දින, ජොහැන්නස්බර්ග් වලින් සැතපුම් තිහක් නිරිත දිගින් පිහිටි ගෝල්ඩ්ෆීල්ඩ්හි සවුත්ඩීප් ආකරයේ මැදිරියකට සවිකර ඇති දඹර කඹය කැඩීයාම නිසා මැදිරිය අඩි 196ක් පහළට ඇද වැටීමෙන් එහි ගමන් ගත් පතල්කරුවන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

අපේ මැදිරිය පිරුනු විට සෝපාන ක්‍රියාකරුවා විදුලි සීනුවක් හැඬවීමෙන් ලබාදුන් සංඥාවත් සමඟ සෝපානය ක්‍රමයෙන් පහළට ගමන ඇරඹීය. දීප්තිමත් ආලෝකය අතුරුදන් වූ අතර මැදිරියෙන් පිටත අපට දකින්නට ලැබුනේ කලුපැහැති පාශාන බිත්ති පමණකි. අපට නොදැනීම අප පහලට ගමන් කරන වේගය ක්‍රමයෙන් වැඩි වන්නට විය. අවසානයේ දී ඈතින් පිහිටි වෙනත් ගොඩනැගිල්ලක සිට සෝපානය පාලනය කරන ක්‍රියාකරුවා තිරිංග සම්පූර්නයෙන් මුදා හැරීමත් සමඟ අපි තත්පරයට අඩි 46 ක වේගයෙන් පහළට වැටෙන්නට වීමු.

මගේ උදරය ඉලඇට තුලට තෙරපෙන්නට විය. කන් අගුල් වැටුනි. කූඩුවේ දැල් වල වේගයෙන් ගැටුනු වාතය හේතුවෙන් විසිල් හඬක් නිකුත් විය. මැදිරිය වේගයෙන් පහළට ගමන් කිරීමෙන් ඇතිවන උස් සිහින් හඬට ලෝහ එකට ඇතිල්ලීමෙන් නිකුත් වන කට කට ශබ්දය මුසුවී තිබුණි. කූඩුවේ යකඩ රාමුවට එකතු වුන ජලය අපේ හිස් මතට රූරා වැටුනි. ඝන අන්ධකාරය මැද ඇස ගැටුනු එකම ආලෝකය වූයේ කම්කරුවෙකු අත දැල්වුනු විදුලි පන්දම පමණකි. එහි ආලෝකයෙන් වර්ෂාවක් මෙන් පහළට ඇද වැටෙන ජලය දැක ගත හැකිවිය. ඇතැම් විටක වේගයෙන් පසුකරයන තිරස් උමඟක ආලෝකය අප ඉදිරියේ ක්ෂණයකින් දැල්වී නිවී ගියේය.

මැදිරිය ආකරය පහළට ගමන් කරන විට එය එල්ලා ඇති කම්බිය මගින් එසවිය යුතු බර ක්‍රමයෙන් වැඩිවේ. හිස් මැදිරියේ බර රාත්තල් විසිදාහක් වන අතර එයට මගීන් පිරුණු විට බර එමෙන් දෙගුණයක් පමණ වේ. සෝපානය එල්ලා ඇති ලෝහ කම්බියේ ඝනකම අඟල් 2.5ක් වන අතර කම්බි අඩියක් රාත්තල් දොළහකි. ඒ අනුව සෑම අඩි දහසකටම කම්බිය විසින් එසවිය යුතු බරට තවත් ටොන් හයක් එකතු වේ. වෙන විදිහකින් බැලුවොත් සෑම තත්පර 3.6කදීම මුළු බර වැඩිවීම ටොන් එකකි. දබරයේ එතී ඇති ලෝහ කම්බිය දිගහැරෙමින් අපේ මුළු බරට තවත් බර එකතු කරන ආකාරය මම සිතින් මවා ගතිමි.

විනාඩි හතරකින් සැතපුම් 1.6ක්  පහළට ගමන් කල අපි පාෂාන ස්ථරයේ කැළඹීම් සහිත කලාපයකට පැමිණියෙමු. ටොන් ගණනක බරක් හුවමාරු  වීමෙන් ඇතිවන දෙදරීම අපට දැනුනේ පර්වතයේ කම්පනයක් ලෙසිනි. සුදු ආලේප කල බිත්ති සහිත දීප්තිමත් උමගකට පා තැබූ අපි දෙවන සෝපානය කරා ගමන් කරන්නට වීමු.

තනි සෝපාන පද්ධතියකින් ගමන් කළ හැකි උපරිම ගැඹුර ඒවායේ නිර්මාණ සැලැස්ම මගින්ම සීමා වී ඇත. ලෝකයේ උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මිනිස්සු ඉහළ පහළ ගෙනයෑම සඳහා සෝපාන 57කින් සමන්විතය. අපි ඒ වන විට බර්ජ් කලීෆා සෝපාන පද්ධතිය මගින් ආවරණය කරන උස මෙන් පස් ගුණයක් ගමන් කර තිබුනු අතර ඒ  තනි සෝපානයකිනි.  අපි රන් ලෝපස් කැණීම් සිදු  කරන ඉතා පහළ ස්ථර  වලට අපව ගෙනයාමට සූදානමින් තිබූ දෙවන සෝපානයට ගොඩ වුනෙමු. එය මිනිත්තු දෙකක් තුලදී පාෂාන කුහරයේ තවත් සැතපුමක් පහළට අපව රැගෙන ගියේය.

භූතාප අනුක්‍රමණය නම් වන ක්‍රියාවලියක් නිසා ප්‍රෘථිවියේ උෂ්ණත්වය එහි අභ්‍යන්තරයට යත්ම වැඩිවේ. අපි උෂ්නත්වය ෆැරන්හයිට් අංශක 140ක් සහ ආර්ධතාවය 95%ක් වූ උමඟයක් වෙතට පිවිසුනෙමු. හුමාල කුටීරයක් වැනි එම බිම්ගෙය තුලදී මොහොතකින් අපව දහදියෙන් නැහැවී ගියේය. මගේ කපු ඇඳුම් තෙත්වී ඇඟටම ඇලී ගිය අතර මේස් තෙතබරියම් වී බූට් සපත්තු තුල මිරිකෙන්නට විය.  අපි ඒවන විට සෝපාන මඟින් ගමන් කල හැකි උපරිම ගැඹුර වූ සැතපුම් 2.3 ක් ගමන් කර තිබුනි. තවත් ගැඹුරට ගමන් කිරීම සඳහා පතල්කරුවන් ඇතැම් විට විවෘත වාහන භාවිතාකල අතර බොහෝවිට පයින් ගමන් කලහ. පොළොව මතුපිට සිට ගැඹුරුතම උමං වෙත පිවිසීමට පැයක පමණ කාලයක් ගතවේ. එයින් වැඩි කාලයක් ගත වන්නේ අවසන් සැතපුම් බාගය තරණය කිරීම සඳහාය. ටොයෝටා වර්ගයේ ට්‍රක් රථයක පිටුපසට අමාරුවෙන් ගොඩවූ අපි අඳුරු දීර්ඝ බෑවුමක් දිගේ පහලට ධාවනය කරන්නට පටන් ගත්තෙමු.

පාතාල පුරවරයේ පැහැදිළි දර්ශන පථ නොමැත. මම කැබ් රථයේ සිට ඉදිරියට එබී බැලුවේ අපි යන්නේ කොයිබටදැයි දැනගන්නටය. රථයේ ප්‍රදාන ලාම්පු වලින් නික්මෙන ආලෝකය ඝනඳුර සමඟ මුසුවන සීමාව දක්වාම දකින්නට තිබුනේ නිමක් නැති බෑවුමත්, පාෂාන බිත්ති සහ ඒවාට සවිකර ඇති ඝනකම් කේබලත් පමණි.

අපට ඉහලින් පෙනෙන උමං පියස්සේ දිගටම දිගු පරතරයක් සහිතව විදුලි බල්බ් සවිකර තිබුනි. වාහනය  කෙලවරකට පැමිණ වංගුවකින් හැරවූ අතර හුස්ම හිරකරන බිම්ගෙයින් මිදීම නිසා මට තාවකාලික සහනයක් දැනෙන්නට විය. නමුත් ඇත්තෙන්ම ගැලවීමක් නැත. සෑම හැරවුමක් පාසාම අපි සෝපානයෙන් ඈත් වෙමින් තවදුරටත් පොලෝ කුහරය තුලට සහ වඩාත් ගැඹුරු මට්ටම් වලට ගමන් කලේ ලෝපස් ඉල්ලම් ඇති කලාපයට ක්‍රමයෙන් ලංවෙමිනි. අපි උමං කටවල් රාශියක් විවිර  වන සන්ධියක් වැනි ස්ථානයක් පසුකල අතර මිනිසුන් පිරිසක් එතැන දුම්රිය පීලි මත තිබූ විශාල වාහනයක් වටා රැස්ව එකතුවී සිටියහ. ඔවුහු අප යන දෙස බලා සිටියෝය. නැවතත් වංගුවකින් හැරුනු අපි උණුසුම්  අඳුරු බිම්ගෙයකට පිවිසුනු අතර පියස්සේ එල්ලෙන විදුලි බල්බ සහ බිත්ති වලට සවි කරන ලද කේබල් සහිත එම උමං මඟ ඔස්සේ තවදුරටත් පහලට ගමන් කරන්නට වීමු.

ඇනග්ලෝ ගෝල්ඩ් සහ අශාන්ති ගෝල්ඩ් ෆීල්ඩ්ස් යන සමාගම් එක්වීමෙන් නිර්මාණය වුනු ඇන්ග්ලෝ ගෝල්ඩ් අශාන්ති සමාගම ගැඹුරේ සිදු කරන කැනීම් කටයුතු සඳහා පතල් කරුවන් තෝරා ගන්නේ තාපයට මුහුණ දීමේ හැකියාව පරීක්ෂා කිරීමෙනි. අයදුම් කරුවන් විශේෂයෙන් සකස් කල කුටීරයක් තුලදී ශාරීරික ව්‍යායාම වල නිරත වන අතර තාක්ෂන ශිල්පීන් විසින් ඔවුන් ව නිරීක්ෂණය කරනු ලැබේ. පරීක්ෂා කුටීරය තුල තෙතමනය සහිතව අංශක 82 ක උෂ්ණත්වයක් පවත්වා ගැනේ. අධික තෙතමනය නිසා එය දැනෙන්නේ අංශක 96 ක් උණුසුම් පරිසරයක සිටිනවා මෙනි. අපි උත්සාහ කරන්නෙ ශරීරයේ තාප යාමන පද්ධතිය සක්‍රිය කරන්නයි. වෘත්තීය සෞඛ්‍ය වෛද්‍යවරයෙක් වන ෂාහන් එලොෆ් පවසයි. ශරීරය සිසිල් වීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව වෙනව නම් පොළව යට දවස් දාහතරක පරිවාස කාලයක් සඳහා යෑමට ඔබ ආරක්ෂිතයි. පරිවාස කාලය සාර්ථකව ගත කලොත් ඊට පස්සෙ තමයි වැඩට නිදහස් කරන්නෙ.

 මෙම හුස්ම හිර කරන අගාධය තුල වැඩ කිරීමට මිනිසෙක්ට ඇති හැකියාව අනුමාන කිරීම කිසිදු පරීක්ෂණයකින්  සාර්ථකව කලහැකි යයි මම නම් නොසිතමි. සූර්යාලෝකයෙන් හා ප්‍රභාශංස්ලේෂනයෙන් තොරව පැවතිය හැකි බැක්ටීරියා විශේෂයක් හැර වෙනත් කිසිදු ජීවියෙක් ස්වභාවිකව මෙම ගැඹුරු ආකර තුල ජීවත් වන්නේ නැත. මෙම බැක්ටීරියා ඔවුන්ට අවශ්‍ය ශක්තිය සපයා ගන්නේ හාත්පස පැතිරුණු විකිරණ මගිනි.



ම්පොනෙන්ග් ආකරයේ ගැඹුරු ස්ථර මිනිස් ශරීරයට දරාගත හැකි අංශක 83 ක පමණ උෂ්ණත්වයක තබා ගැනීම සඳහා දිනකට අයිස් ටොන් හයදහසක් පමණ වැයවේ. පොළොව මතුපිට යන්ත්‍රාගාරයක නිපදවන අයිස් ලුනු සමඟ මිශ්‍ර කර සාදා ගන්නා සිසිල්කාරක තරලය භුගත ටැංකි තුලට පොම්ප කරනු ලැබේ. එහිදී යෝධ පංකා ආධාරයෙන් වාතය සිසිල්කාරකය මතින් හැමීමට සලස්වා ලැබෙන ශීත කල වාතය කැණීම් සිදුකරන බිම්ගෙවල් වලට මුදා හරිනු ලබයි. අංශක 37 ක උෂ්ණත්වයකින් පහලට  ගමන් කරන සිසිල් වාතය පාෂාන ස්ථර වලින් තාපය උරාගෙන ආපසු ඉහළට එන විට අංශක 86ක පමණ උණුසුමකින් යුක්ත වේ. පහල මට්ටම් වලින් රත් වූ වාතය රැගෙන එන අඳුරු , ගෙරවුම් හඬ සහිත උමං මඟක් පසුකර යාමට වරක් මට සිදු විය.

ගැඹුරට කණින පතලක් යනු එක් ආකාරයකින් නිතර කඩවන සටන් විරාමයක් වැන දෙයකි. ගැඹුරේ කැණීම් පාශාන ස්ථර අස්ථාවර කරයි.  සෑම දිනකම ම්පොනෙන්ග් ආකරයේ රාත්තල් පන්දහසක් පමණ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හරිනු ලැබේ. සෑම දිනකම ටොන් 6400 ක පාෂාන කැණීම් කර ඉවතට ගනු ලැබේ. සම්පීඩක බල ක්‍රියාත්මක වන මූලධර්ම අනුව කැණීමෙන් ඇතිවන රික්තය  පිරවීමට පෂාන ස්ථර හැම විටම  නැඹුරුවක් දක්වයි. මෙය වලක්වා ගැනීමට ඉංජිනේරුවන් එම කුහර පාශාන සහ කොන්ක්‍රීට් මගින් යලි පුරවනු ලැබේ. කැණීම් කරන ස්ථර මතුපිට ආතතිය අඩු කිරීම සඳහා ඔවුහු  මෘදුකරණය නැමති ක්‍රමය භාවිතා කරයි. මෙහිදී සිදු කෙරෙන්නේ පුපුරුවා හැරීමට නියමිත පෘෂ්ඨයේ වටා සංකීර්ණ රටා විඳීමකි. ගැඹුරු කැණීම් වලදී ඔවුන් පාෂාන ස්ථරය රැවටීමට ලක් කරන්නේ කැණීම් කුහරයට ඉහලින් අඩි හයේ  තිරස් විවර විදිම මගිනි. ආතතිය ගමන් කරන්නේ දෘඩ පාෂානය තුලින් මිස හිස් අවකාශ තුලින් නොවේ . මේ නිසා විදිනු ලබන විවර මගින් ආතතියේ ව්‍යාප්තියට බාධා ඇති කරයි.



උමං වහලයේ මතුපිට ඇති අස්ථායී පාෂාන තට්ටු අඩි ගණන් දිග මුරිච්චි මගින් වඩා ස්ථායි පාෂාන ස්ථර සමඟ සම්බන්ධ කෙරේ. මෙම මුරිච්චි ඇතුල් කරන රටාව අනුව පාෂාන ස්ථර ශක්තිමත්ව එකට බැඳ තබා ගනී. කම්බි දැල් සහ මතුපිටට විඳිනු ලබන කොන්ක්‍රීට් බදාම මගින් උමං බිත්ති මතුපිට ශක්තිමත්ව තබා ගනී. පතල තුල ඇති භූ කම්පනය මනින සංවේදක උපකරණ මගින් ඇති වන කම්පන මැන කම්කරුවන්ට පිටවීමට අනතුරු ඇඟවීමේ සංඤා නිකුත් කරයි. එහෙත් දකුණු අප්‍රිකාවේ රන් ආකර අස්ථාවර කරන තවත් බලවේගයක් ඇත. ඒ ඉංජිනේරුවන්ට හෝ කිසිවෙකුට පාලනය කල නොහැක්කකි. ඒ මේ ආකර ආක්‍රමණය කරන සුවිසල් චෞර හමුදාවයි.

දරිද්‍රතාවයෙන් පෙලෙන ගැහැනුන් සහ පිරිමින්ගෙන් සමන්විත දක්ෂ සොර කණ්ඩායම් රන් ආකර පීරමින් වසරකට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ලෝපස් ඉවතට ගෙන යනු ලබයි. පාතාල කල්ලි වල සහයෙන් ඇතැම් විට දැනට කැණීම් කටයුතු කරන ආකර වල පවා හිස් උමං අත්පත් කර ගැනීමට ඔවුන් සමත්ය. දකුණු අප්‍රිකාවේ ප්‍රධාන රන් ආකර වල විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නිසා ආක්‍රමණිකයන්ට පහසුවෙන් පතල් ඇතුලට යාමට හෝ පිටවීමට හැකියාවක් නැත. එම නිසා වරක් අනවසරෙන් ආකරයකට ඇතුලු වූ පසු ඔවුන් මාස ගණනක් ඒ ගැඹුරු ආකර තුල ජීවත් වෙති. හිරු එළිය නොලැබීම නිසා ඔවුන්ගේ සහ ඔවුන් සමඟ ආකර තුල ජීවත් වන බිරින්දෑවරුන්ගේ හා ගණිකාවන්ගේ ද සම අලු පැහැයට හැරේ. දකුණු අප්‍රිකාවේදී මිනිසුන් ඔවුන්ව හඳුන්වන්නේ  හොල්මන් කණින්නන් (Ghost Miners) යනුවෙනි. සමහර ආකර වල පොළව ගැඹුරේ සැතපුම් හතලිහක් පමණ විහිඳුනු භූගත නගර වල ඔවුන් වාසය කරන්නේ හුස්ම හිරකරවන මෙම වංකගිරි තුල ඇති එකම දීප්තිය වන රත්රන් පිළිබඳ සිහිනය දකිමිනි.

හොල්මන් කණින්නන් (Ghost miners)


වසර අවසාන වන විට ම්පොනෙන් පතල් වලින් සමස්ථ නිෂ්පාදනය ලෙස ඩොලර් බිලියන පහක් වටිනා රන් (එනම්  රත්රන් අවුන්ස මිලියන 4.1ක් ) ලබා ගැනීමට එහි හිමිකරුවා බලාපොරොත්තු වෙයි.

(මැතිව් හාට් ගේ ගෝල්ඩ් කෘතිය ඇසුරින්  වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලවූ ලිපියකි.)

මැතිව් හාට්ගේ ගෝල්ඩ් කෘතිය